ලේන කුලේ සිට ආගිය මග තොට……


තම සැමියාගේ බව උදුරා දමන ගමනට හා ඔහුගේ ධර්ම මාර්ගයට උරදෙන අතරතුර තමාගේ ධර්ම මාර්ගයත් පාදා ගැනීමට නිබඳ වෙහෙසෙන්නාවූ අපේ කාලයේ යශෝධරාවන් වෙනුවෙන්ම ලියමි.

අනවරාග සංසාරයක් පුරා බුදුවන්නට පෙරුම් පුරමින් අප සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ආ ගමනේදී තම හදවතට හුස්ම තරමින් ළඟින් හිඳ දිරිය දුන් ආදරයේ උත්තරීතරම පතිනිය වන ඇය යශෝදරා නම් වේ.

පෙර අතීතයේදී ලේනෙකු කා ලේනියක ලෙස උප්පත්තිය ලැබූ දා පටන් බුදුවන ආත්මභාවය දක්වාම තම සෙවනැල්ල සේ ළඟින් සිටි ඇය උන්වහන්සේට පාරමිතා පිරීමට උර දුන්නීය. කලන්දක ජාතක කතාවෙහි ලේනෙකුව ඉපදී තම දරුවන් මහාසාගරයට ගසාගෙන ගිය අවස්ථාවේදී තම වලිගයෙන් මහමුහුද ඉස දරුවන් බේරා ගැනීම සඳහා වීරිය පාරමිතාව පිරීමට ඇය ලේනාට උර දුන්නීය (ඛුද්දක නිකාය, ජාතකපාළි-3, කලන්දක ජාතකය). පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත, H. M ජයවර්ධනයන් සංගීතය සැපයූ, කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් ගායනය කරන "ලා දළු බෝපත්" ගීතයේ යශෝදරාවන් ගැන සඳහන් වන්නේ මෙලෙසින්.

"ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් සේ......."

අප ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලේ මිනිස් ඉතිහාසයේ සුවිශාලතම අත්හැරීමයි. අනන්ත අප්‍රමාණ සංසාරයක් පුරාවට තමන්ගේ පාදපරිචාරිකාව වූ අතිසුන්දර ආදරයේ උත්තරීතර පතිනිය වූ යශෝදරා කුමරියවද හැර දමා අප මහ බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කලේ ඔබටත් මටත් මේ සියළු ලෝක සත්වයාටත් සදාකාලික නිවනක් සැනසීමක් සෙවීමේ මහා අදිටනිනි. ඒ සා විශාල අත්හැරීමක් කොට උන්වහන්සේ සොයාගත් ඒ පරම පිවිතුරු සද්ධර්මයෙන් එක අංශුමාත්‍රයක හෝ ප්‍රයෝජනයක් ඔබ ගන්නවාදැයි මොහොතක් සිතා බලන්න.

බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විසින් රචිත,පමුදිත මානෙල්අංගයන් සංගීතය සැපයූ, නිපුනි හංසිකා ධර්මදාස මහත්මිය විසින් ගායනය කරන "සුන්දර ඇසළ සඳ බබළන" ගීතයේ යශෝදරාවන් ගැන සඳහන් වන්නේ මෙලෙසින්.

"සුන්දර ඇසළ සඳ බබළන අහස මත
පිංබර දිනක මම අම්මා කෙනෙක් වුන
පෙම්බර මාගේ පණ නළ බදු සමිඳ ඔබ
වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට......

දන්නා නමුදු හැර යන බව යම් දිනක
නෑ නවතන්නේ ඔබ යන මග කිසිවිටක
පිසදා කඳුළු මදහස නගමින් නිබද
බල බල හිදිමි බුදු වී එන තුරුම අද......"

සිද්ධාර්ථ කුමාරයා කෙදිනක හෝ ගිහිගෙය හැරදමා යන බව ඈ දැන සිටියාය. බෝසතාණන් වහන්සේ හැමෝටම හොරෙන් ගිහි ගෙය හැරදා ගිය කතාව බොරු බව පෙන්වීමට මේ ත්‍රිපිටක සාක්ෂිය උපයෝගී කර ගත හැක. උන්වහන්සේ අළුත උපන් රාහුල කුමාරයා ගැන සිතා යශෝධරාවන්ට නොකියන්නට ඇත. නමුත් උන්වහන්සේ කිසිවෙකුටත් හොරා මහා අභිනිෂ්ක්‍රමණය කලේ නම් නැත. (මජ්ඣිම නිකාය, මූලපණ්ණාසපාළි, ඔපම්ම වර්ගය, අරියපරියෙසන සූත්‍රය)

“මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි"

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව තම ඤාතීන්ට දහම් දෙසීම සඳහා අරිහතුන් වහන්සේලා සමඟ කිඹුල්වත්පුරට වැඩම කල අවස්ථාවේදී සුද්ධෝදන මහරජතුමා යශෝධරාවන්ගේ (බිම්බා දේවියගේ) ගුණ සඳහන් කලේ මෙලෙසිනි (ඛුද්දක නිකාය, ජාතකපාළි-2, චන්දකින්නර ජාතකය).

"ස්වාමීනී මාගේ බිම්බාවන්, ඔබ වහන්සේ මහාඅභිනිෂ්ක්‍රමණය කොට කාෂාය වස්ත්‍ර ඇඳි බව අසා පට සළු පැළඳීමෙන් වෙන්වූවාය. ඔබවහන්සේ කෙස්වැටිය කැපූබව අසා ඇයද ඇගේ දිගැති කෙස්වැටිය කපා දැම්මාය. ඔබවහන්සේ දවසට එක් වේලක් පමණක් ආහාර වැළඳූ බව අසා ඇයද එක් වේලක් පමණක් ආහාර ගත්තීය. රන්බඳුන්වල හැර මැටි බඳුන්වල ආහාර අනුභව කළාය. ඔබ වහන්සේ බිම සයනය කරන බව අසා ඇයද බිම සයනය කළාය. දඹදිව සෙසු රජ දරුවන් ඇය සරණපාවා ගැනීමට සිතා එවූ රන් රිදී මුතු මැණික් ආදී කිසිදු පඬුරක් පිළිනොගෙන ඒ සියළු යෝජනා ප්‍රතික්ෂේප කොට වැන්දඹුවක් ලෙසම ජීවත්වීම මහා ආශ්චර්‍යයකැයි සිතා ඔබවහන්සේ වෙනුවෙන්ම ජීවත් වූවාය"

"සුසිනිඳු කසී සළු හැරදා මෙමා වත
හණ සළු දරනවා සමිඳුනි මැදුර මැද
ඔබ විදිනා දුකින් මට හිමි සැප කිමද
කය මැදුරේ නමුදු සිත ඔබ ළඟය අද...."

යශෝධරා අතිශයින්ම සංවේදී කාන්තාවක් වූවාය. ලා දළු බෝපත් සින්දුවේ තේරුම රත්න ශ්‍රී විජේසිංහයන් විසින් පැවසූ අවස්ථාවක, ජන කවියා විසින් බව උදුරා දමන හෙවත් බුද්ධත්ව මග වඩන බෝසතාණන් වෙනුවෙන් යශෝධරා ප්‍රාර්ථනා කල ආකාරය පිළිබඳ මෙසේ සටහන් කලබව සඳහන් කළේය.

"සුවඳ බොජුන් වැළඳූ මගේ හිමි සඳුට
මෙබඳු බොජුන් රසකර දුන් වළඳන්ට
සුවඳ පලාපල ලැබියන් හිමියන්ට
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට"

කිඹුල්වත්පුර ගමනේදී යශෝධරාවන් දැකීමට ඇයගේ මාලිගාවට වැඩි බුදුපියාණන් වහන්සේ සෙස්සන්ට පැවසූයේ ඇයගේ දුක තුනීවනතුරු හඬා වැළපීමට ඇයට ඉඩහරින ලෙසයි. ඇයගේ ශෝකය තුනී වූ පසු බුදුපියාණන් වහන්සේ සුදොවුන් රජතුමාට මෙසේ පැවසීය.

"පියරජතුමනි, ඈ මේ කෙළවර අත් බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් නොපැතීම පුදුම නොවෙයි. පෙර තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් අන් අය නොපැතුවේය"

මෙසේ පැවසූ උන්වහන්සේ යශෝධරාවන්ගේ ගුණ මතක්කර දීම සඳහා සඳ කිඳුරු ජාතක කතාව දේශනා කළසේක.

එක්තරා ආත්මභාවයක්දී සිද්ධාර්ථ යශෝධරා දෙදෙන සඳ කිඳුරු යුවලක්ව ඉපදුනි. දිනක් දඩයමේ යන රජතුමා මේ කිඳුරු යුවල ඉතා ආදරයෙන් හා සතුටින් සිටිනා අයුරු දැක ඒ පිළිබඳ රාග සිත් ඇතිකරගෙන කිඳුරා මරා කිඳුරිය සමඟ ජීවත්වෙමියි සිතා කිඳුරාට හීයක් විද්දේය. කිඳුරාගේ වියෝවෙන් සිහි එලවා ගත නොහැකිව හඬාවැලපෙන කිඳුරියට රජතුමා කීවේ තමාව අගමෙහෙසිය කරගැනීමට ඔහු සූදානම් බවයි. එවිට කිඳුරිය මෙසේ පැවසූවාය. "අවලක්ෂණ වූ තෝ මා නිසා නිරපරාධවූ මාගේ සමනා මැරීද, ඔහු කෙරේ ස්නේහයෙන් හඬා මිය යතත් තොපගේ බිසව නොවෙමි".

චන්දකින්නර ජාතකයේ සඳහන් පරිදි කිඳුරිය කිඳුරා වෙනුවෙන් දුක් වුනු අයුරු පෙන්වීමට ත්‍රිපිටක වාක්‍ය කිහිපයක් උපුටා දක්වන්නම්.

“රාජපුත්‍රය, සඳකිඳුරා දෙස බලන්නාවූ මාගේ හෘදයෙහි යම් ශොකයක් හටගණීද, මේ මාගේ හෘදයෙහිවූ ශොකය තොපගේ අඹුව ලබාවා"

“රාජපුත්‍රය, යමෙක් මා සඳකිඳුරා විද මැරීද, ඒකාන්තයෙන් මම මැරෙන්නෙම් නමුදු ඒ නුඹට භාර්‍ය්‍යා නොවන්නෙමි"

“මා සොඳුරු සඳකිඳුරාණෙනි, දැකුම්කළුවූ නිල්මිණිවන් හිමවත් පර්වත කූටයෝ ඇත්තාහ. එහි ඔබ නොදක්නී මම කෙසේ සැනසෙන්නෙම්ද"

චන්දකින්නර ජාතක දේශනාවෙන් අනතුරුව බිම්බාවන්ගේ සිත නිවී පහන් විය. කරුණාරත්න දිවුල්ගනේ මහතා එය පවසන්නේ මෙලෙසිනි.

"තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ"

රාහුල කුමරුන්ගේ උප්පත්තියෙන් අනතුරුව රාහුල මාතා නමින් යසෝදරා ප්‍රකට වූවාය.

"දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
හැම දෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
භව රැහැනේ බැඳුම් සිඳිනා මධමතිය
මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය...."

කිඹුල්වත්පුර චාරිකාවේදී රාහුල කුමාරයාට බුදුපියාණන් පෙන්වා නරසීහ ගාථා ගැයූ ඇය මෙසේ පැවසීය. "පුත රාහුලයෙනි, තොපගේ පියාණන් ළඟ සතරමහා නිධානයක් හා සක්විති රාජ්‍යය ඇත. ඒ නිසා ඔහු වෙත ගොස් ඔහුගෙන් දායාද ඉල්ලා ගනුව". බුදුපියාණන් කරා ගොස් දායාද ඉල්ලූ රාහුල කුමාරයාණන්ට නොනස්නා දායාද සම්පතක් දෙනු කැමති වූ බුදුපියාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ ලවා රාහුල කුමාරයා අති උතුම් මහණ දිවියට ඇතුලත් කළේය.

රාහුල කුමාරයා පැවිදිවීමෙන් අනතුරුව ගිහිගෙයි වාසය කිරීමෙන් පලක් නැතිබව වටහා ගත් යශෝධරාවන් සසරෙහි කලකිරී මහා ප්‍රජාපතී මහරහත් මෙහෙනින් වහන්සේ කරා ගොස් පැවිදි වූවාය. මෙසේ පැවිදිවූ ඈ අඩමසක් යන්නට පෙරම චතුරාර්‍ය සත්‍යය අවබෝධ කලාය. ඒ පිළිබඳව ආපදාන පාළියෙහි මෙසේ සඳහන් වේ. (ඛුද්දක නිකාය. ආපදානපාළි-2, කුණ්ඩලකේසීවග්ගො, යසොධරාථෙරිආපදානං)

’’මෙසේ ගිහිගෙය අතහැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අඩමසක් නොපැමිණි කල්හිම චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි"

’’මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි"

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී"

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ටවිමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද ශාක්‍ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී"

’’මෙසේ නන්වැදෑරුම්වූ දුක්ද, නන්වැදෑරුම්වූ සම්පත්ද රහත් බවට පැමිණියා සියළු සම්පත් ලබමි"

පදුමුත්තර බුදුපියාණන් වහන්සේගේ කාලයේදී හංසවතී නුවර එක්තරා කුල ගෙයක ඉපදුනු යසෝදරා උන්වහන්සේගෙන් බණ අසා සිත්සතුටු වූවාය. උන්වහන්සේ එක්තරා භික්ෂුණීන් වහන්සේ නමකට අභිඥාලාභී තනතුර පුදන ලද අවස්ථාවේදී එය දැක සිත් පහදවා "මම ද බුදුපියාණන් වහන්සේ නමකගෙන් මෙකී තනතුර ලබන්නෙමි" යි කරන ලද ප්‍රාර්ථනාවකට අනුව අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මහා අභිඥාලාභී භික්ෂුනීන් අතර අගතැන් පත් යශෝදරා මහරහතන් වහන්සේ ලැබුවාය. (අංගුත්තර නිකාය, ඒකකනිපාතය, ඒතදග්ග පාලිය, මෙහෙණිවරු)

සිදුහත් බෝසතාණන් වහන්සේ මුල්වරට නියත විවරණය ලැබුවේ දීපංකර බුදුපියාණන් පාමුලය. එකල ඇය සුමිත්තා නම් වූ අතර ඔහු සුමේධ නම් විය.

"සව් සත එතෙර කරවන්නට සංසාරෙන්
දීපංකර මුනිඳුගේ බුදු කරුණාවෙන්
මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
එදිනද සමිඳුණේ සිටියේ ඔබ ගාවින්...."

එම අතීත කතාව පිළිබඳව ආපදානපාළිය මෙසේ විස්තර කරයි.

’’සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් පෙර ලෝකනායකවූ දිවකුරු බුදුරජතෙම ලොව පහළවිය"

’’පසල් දනව්වෙහි සොම්නස්වූ මිනිස්සු බුදුරජුන් පවරා, උන්වහන්සේ වැඩමවන මග පිරිසිදු කෙරෙත්"

’’එකල්හි හෙතෙම සුමේධ නම් බමුණෙක් විය. සියල්ල දක්නාවූ බුදුරජුන්හට දීර්‍ඝ මාර්‍ගයද පිළියෙළ කළේය. එසමයෙහි මම බමුණු කුලයෙහි උපන්, නමින් සුමිත්තා නම්වූ කන්‍යාවක් වීමි"

’’ශාස්තෲන් වහන්සේට පිදීම පිණිස උපුල් මල් අට මිටක් ගෙන ජන සමූහයා මැදෙහි වැහැරි සිවුර මත හුන්නාවූ, අතිශයින් සිත්කලුවූ, මනහරවූ, ඔදවැඩුනු සිත් ඇති සෘෂිවරයා දුටිමි. දැක එකල්හි මාගේ ජීවිතය සඵලයයි සිතීමි"

’’එකල්හි සෘෂිහුගේ ඒ උත්සාහය සඵලයයි දුටිමි. මාගේ පූර්‍ව කර්‍ම බලයෙන් සම්බුදුරජුන් කෙරෙහි සිතද පැහැදුනේය"

’’ඔදවැඩි සිත් ඇති සෘෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පැහැදවීමී. මහර්ෂී බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට දියයුතු අනිකක් නොදකිමි. උපුල් මල් දෙමි"

"මින් මල් පස් මිටක් ඔබවහන්සේට වේවා. මාගේ සෘෂිවරයා කෙරෙහි තෙමිටක් වේවා. බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මය අවබෝධය පිණිස එම සෘෂිවරයා සමග මාගේ අදහස් සමවේවා"

’’එම සෘෂිතෙම මල් තෙමිට ගෙන වඩින්නාවූ මහත් යසස් ඇති බුදුරජුන්ට ජන සමූහයා මැදදී සර්‍වඥතාඥානාවබෝධය පිණිස පිදීය. මහාවීරවූ දීපඞ්කර බුදුරජතෙමේ ජන සමූහයා මැදදී ඔද වැඩි සිත් ඇති තවුසා දැක මෙසේ පැවැසූහ"

’’මින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයෙහි මහාමුනිවූ දීපඞ්කර බුදුරජතෙමේ මාගේ කර්‍මයද සෘජුබවද පැවසූහ"

’’මහා සෘෂිවරය, ඔබ පිණිස කළ මෙම කර්‍මය කරණකොටගෙන ඇය ඔබ හා සම කර්‍ම ඇති, සමව කටයුතු කරන සුළු තැනැත්තියක් වන්නීය. ප්‍රියවූ තැනැත්තියක්ද වන්නීය. ඔහුගේ ධර්‍මයෙහි කොටස්කාරියක්වූ, මනා දැකුම් ඇති, ඉතා ප්‍රියවූ, මන වඩන්නාවූ, ප්‍රිය වචන කියන්නාවූ, ප්‍රිය ගති ඇති ස්ත්‍රියක්ද වන්නීය"

පැවිදි වීමෙන් අනතුරුව ඕතොමෝ භද්දකච්චානා නමින් ප්‍රකට විය. භද්දකච්චානා මහරහතන් වහන්සේ තමාට වයස 78 සම්පූර්ණ වනවිට පිරිණිවන් පෑවාය. පිරිණිවන් පෑමට ආසන්නව බුදුපියාණන් වෙත එළඹි ඈ උන්වහන්සේගේ ආරාධනයෙන් සියළු පෙළහර දැක්වීය. ඒ පිළිබඳ ආපදානපාළිය මෙසේ විස්තර කරයි.

’’යම්තාක් පිරිස වෙත් නම් ශාස්තෲන් වහන්සේගේ සමීපයට එළඹෙත්. ඉදින් මාගේ වරදක් ඇත්නම්, මුනීන්‍ද්‍රයන් වහන්ස, සම්මුඛයෙහි ක්‍ෂමා කරන සේක්වා. ඉදින් සසරෙහි සැරිසරාද, ඔබ කෙරෙහි මාගේ වරදක් වේ නම් මහා වීරයන් වහන්ස, එය ආරෝචනය කරමි. මාගේ වරදට ක්‍ෂමා වේවා.’’

ඇයගේ වචනය අසා මුනීන්‍ද්‍ර තෙම මෙය වදාළ සේක.

’’නිවණට යාමට ඔබට මින් මතු කුමක් කියම්ද? මාගේ සසුන කරන තැනැත්තිය, සෘද්‍ධියද දක්වනු මැනව. සියළු පිරිසගේ සසුන කෙරෙහිවු සැක සිඳිනු මැනව"

අවසානයේ යශෝධරා මහරහත් මෙහෙණින් වහන්සේ මෙසේ පවසා අතිඋතුම් නිවන කරා එළඹි සේක.

"උතුමාණෙනි, කෙළ දහස් ගණන් ජාතිවල ඔබට භාර්‍යාව වූ මා ඔබට වැඩ පිණිස දන්දුන් නමුත් මම අහිතක් නොසිතුවෙමි. කෙළ සුවහස් ගණන් ජාතිවල ඔබට වැඩ පිණිස මා බිලිදුන් නමුත් මම අහිතක් නොසිතුවෙමි. මා සතු දහස් ගණන් වටිනා රන් රුවන් ආභරණ ඔබට වැඩ පිණිස දන්දුන් නමුත් මම කිසි විටෙක දොම්නස් නොවීමි. ඔබගේ අභිමතාර්ථය සඳහා මා සතු ඇත්, අස්, ධන, ධාන්‍ය, කෙත්, වත්, රන්, රුවන් දන් දෙන කල්හි කිසි විටෙකත් දොම්නස් නොවීමි. මහා වීරයන් වහන්ස, ඔබ සඳහා අනන්ත දුක් වේදනා වින්දෙමි. කිසි විටෙකත් ඒ නිසා දොම්නස් නොවීමි. මහා මුනිතුමනි, ඔබ වහන්සේගේ යහපත පිණිස මා විසින් බොහො දුෂ්කර ක්‍රියා කරන ලද්දේය. අන්තිම ආත්මය දක්වා ඔබට යහපත පිණිස සේවය කළෙමි. පසුව සසර කලකිරී දහසක් පිරිවර සමඟ පැවිදි වීමි. අඩමසක් ගතවීමට කලින්ම නිවන අවබෝධ කළෙමි. මා විසින් සියළු කෙලෙස් දවන ලද්දේය. යසෝදරා නම් වූ මම ඔබ නිසා මෙසේ අනන්ත වූ දුකටද, අප්‍රමාණ සැපතටද අන්තිමේදී නිවනටද පත්වීමි. ඔබවහන්සේට මාගේ මේ අන්තිම වැඳීමයි"

ඒ අතිඋතුම් යශෝධරා මහරහත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! උන්වහන්සේ අමාමහ නිවනට පැමිණියා සේ බොහෝ ඉකමනින්ම ඔබටත් මටත් සියළුම දෙනාටත් ඒ සැපය ලැබේවා...!!!

මෙය කියවූ ඔබට තෙරුවන් සරණයි...!!! නිවනම වෙත්වා...!!! ධර්ම දානය පිණිස බෙදාහරින්න.

Related Post

What's Your Reaction?

තරහයි තරහයි
0
තරහයි
හිතාගන්න බෑ හිතාගන්න බෑ
0
හිතාගන්න බෑ
සුපිරි සුපිරි
2
සුපිරි
ජොලි ජොලි
0
ජොලි
අපොයි අපොයි
0
අපොයි
භයානකයි භයානකයි
0
භයානකයි
විකාර විකාර
0
විකාර

Comments 1

Your email address will not be published. Required fields are marked *

ලේන කුලේ සිට ආගිය මග තොට……

Loading...
Choose A Format
Trivia quiz
Series of questions with right and wrong answers that intends to check knowledge
Poll
Voting to make decisions or determine opinions
Story
Formatted Text with Embeds and Visuals
List
The Classic Internet Listicles
Open List
Submit your own item and vote up for the best submission
Video
Youtube, Vimeo or Vine Embeds
Audio
Soundcloud or Mixcloud Embeds
Image
Photo or GIF
Gif
GIF format